ලොව නානාවිධ සමාජ ඇත. ඒ සෑම එකකට ම ආවේණික පොදු කරුණු
රැසක් ඇත. පොදු සිතුම් පැතුම්, අරමුණු චාරිත්‍ර වාරිත්‍ර හා අපේක්ෂා ආදිය ඉන්
සමහරකි.
කිසියම් සමාජයක බාල පරපුර තම මුතුන් මිත්තන් ගේ ජීවන ක්‍රම
වලට අනුකූලව ජීවත්වීම සඳහා ඇති දැඩි වේ නම් එවන් සමාජයක් ජාතියකි. එවන් ජාතීන්
සමූහයක් එක් වූ කල මහා සමාජයකි. පෙරදිග හා අපරදිග සමාජ එවැන්නකි.
මේ හැර ලොව සියලු ම ජනයා එක් වූ කල එය මානව සමාජය ලෙස
නම් කළ හැකි ය. ගෝලීයකරණයට නතු වූ වත්මන් සමාජයක තාක්ෂණය විසින් ලෝකය විශ්ව
ගම්මානයක් බවටත්, ගම්මානය පවුලක් බවටත් පත් කර ඇත. එම පවුල තුළ ඇති ජන සමාජ බොහෝ
විට සංස්කෘතික ලක්ෂණ හේතු කොට ගෙන දියුණු නොදියුණු, ශිෂ්ට අශිෂ්ට, නාගරික ගැමි
යනාදී වශයෙන් හැඳින්වීමට පෙළඹී ඇත.
සමාජය තුළ විවිධ සමූහයන් පවතී. විශේෂයෙන් පවුල, ආගමික සමූහ, ආර්ථික සමූහ
ආදි වේ. මෙම සමූහ වැදගත් වන්නේ එම සමූහයන් නිරතවන විවිධ ක්‍රියාකාරකම් අනුවය.
ඇතමෙක් කෘෂිකාර්මික කටයුතු වල නිරත වේ. තව කොටසක් විවිධ ගෘහ කර්මාන්ත හා සේවාවන්හි
නිරත වේ. මොවුන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ සිතුවිලි අනුවය. නමුත් මෙම ක්‍රියාකාරකම්
පාලනය කරන ප්‍රධාන බලවේගය වන්නේත් සිතුවිලි වේ. මෙසේ සිතුවිලි මගින් ක්‍රියාකාරකම්
පාලනය කරනු ලබන්නේ එමගින් අන් අයට යම් අවස්තා වලදී හානියක් විය හැකි බැවිනි.
එබැවින් යම් කාර්යයකට සූදානම් වීමට පෙර ඒ පිළිබඳ සොයා බැලිය යුතු යැයි ජන කවියා
පවසන්නේ මෙසේය.
බොරැල්ලේ තරම දැනගෙන උඩ
පනිනු
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ කපනු
කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු
තමන්ගේ තරම දැනගෙන දව සරිනු
එසේම සමාජයේ මෙම සීමාවන් ඉක්මවා අන් අයට කරදරකාරී ලෙස කටයුතු කරන පුද්ගලයන්
පිළිබඳව ද ජන කවියා මෙසේ දක්වයි.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා
එවකට මාතරට යන එන අයගේ ගමන් මාර්ගය වූයේ නිල්වලා ගඟයි. එම ගඟේ එහා මෙහා යන
යාත්‍රා වලින් අතර මග ඇති කඩවත් වලදී බදු අය කරනු ලැබීය. මෙම එක් කඩවතක සිට බදු
අයකළ අයෙකුගේ රළු පරළු වදන් හා හැසිරීම ප්‍රකාශ කිරීමට උත්සාහ ගෙන ඇත. මේ
නිලධාරියාගේ තල්ලේ කබරත්, බෙල්ලේ අලුහනුත් තිබී ඇත. ඔහුට කප්පම් ලැබෙන තුරු ඔරු
පාරු වලට යන්නට ලැබී නැත. එනිසා ඔහුගෙන් ඇතිවන හිරිහැරය පිළිබඳ ජනකවියා දක්වා
ඇත්තේ නිර්ධනයින් සූරා කෑම පදනම් කරගත් සමාජය දෙස ක්‍රෝධයෙන් නොව අනුකම්පාවෙනි. ක්‍රෝධය
කෙලින්ම ප්‍රකාශ කළ හොත් ඇති වන තත්වය පිළිබඳ මනා අවබෝධයක් ජන කවියාට වූ බව මින්
පැහැදිලි වේ. මෙසේ පුද්ගල අන්තර් ක්‍රියා සමාජයේ ගැටුම් බවට පත් නොවන අයුරින්
පාලනය කර ගැනීමට ගැමියා සමත් විය. මින් පැහැදිලි වන්නේ සිතුවිලි හා චර්යා සමාජයට
හානිකර නොවන පරිදි පිවිසවීමට ජන කවියා, කවිය යොදාගත් බවයි.
සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය වන්නේ පවුලයි. මෙම පවුලේ උපදින දරුවා පවුලේ
ඥාතීන් හා සමීප කරවීම මවගේ කාර්යයක් වෙයි.එ නිසා කුඩා කල සිටම ළමයින්ගේ මනසට පවුලේ
නෑදෑයන් පිළිබඳ හැඟීම් ඇතුළත් කරනලදී.
පුතේ නුඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
හිතේ අදර නැති නිම්මා
නාඩා නිදියන් පෙම්මා
එසේම දරුවකු උස්මහත් වූ පසු සමාජයේ යහපත්ව ජීවත් විය යුතු ආකාරය පිළිබඳ
උපදේශාත්මක ජනකවි වලින් පවසනු ලැබීය.
හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින් දුවේ
මැද්දට පැන වැඩිහිටියන් සමග කතා එපා දුවේ
කොල්ලන් ගසට ඇර ගස මුල ඉන්න එපා
සෙල්ලම් ගමන් රෑ තනිමග යන්න එපා
ලාංකීය සමායේ සහයෝගීතාව තහවුරු කරන තවත් සාධකයක් වන්නේ ආර්ථික සහයෝගීතාවයි.
මෙම සහයෝගීතාවය පිළිබඳ මේවර කෙළිය වැනි ජන ක්‍රීඩා තුළින් පිළිබිඹු කරනු ලැබීය. මෙම
ආර්ථික සහයෝගීතාව විශද කරනු ලැබු තවත් කරුණක් වූයේ ලිංගිකත්වය හා වයස මත පදනම්ව
එක්තරා ආකාරයක ශ්‍රම විභජනයක් පැවති බවයි.
සමාජයක පැවැත්ම උදෙසා ලිංගික ප්‍රජනන කාර්යය වැදගත් වේ.පවුල නමැති සම්මතය
තුළ විවාහය ලෙස සලකන ලද්දේ ඇවැස්ස නෑකම මත සිදු වූ විවාහය යි. ඒ සඳහා යම් නීත්‍යනුකූල
බවක් සමාජ පිළිගැනිම තුළින් ස්ථාපිතව තිබුණි. මේ නිසා නෑනාගේ අයිතිය මස්සිනාට
පැවරෙන බව ප්‍රබල ලෙස ජන කවියා දක්වා ඇත. මෙම සමාජ අනුමැතියෙන් දෙදෙනාගේ ලිංගික ප්‍රජනන
කාර්යය සඳහා නිදහස ලැබුණි. සමාජය හා ජන කවිය බැඳී ඇති ආකාරය මේ අනුව තව දුරටත්
තහවුරු වේ.
වැසි සිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි
මීරා අයිති කිතුලේ කළ වැද්දාටයි
නෑනා අයිති කාට ද මස්සිනාටයි
ගැමි කාන්තාවක් තනියම හුදකලා මාවතක යනු දුටු සල්ලාලයෙක් ඇයට මෙවන් යෝජනාවක්
කරයි.
අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමියෙක් නැතිව නුඹ තනියම කිමද නගෝ
අම්බලමේ නැවතී අපි යමුද නගෝ
එවිට කාන්තාව එතැනින් ගැලවී යන අදහසින් මෙසේ පිළිතුරු දුන්නාය.
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හන්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්සෙන් එන හන්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර හන්දා
තමා අනාරක්ෂිත අවස්ථාවකට මුහුණ පා සිටින බව තේරුම් ගන්නා තරුණිය ඒ
අවස්ථාවෙන් ගැලවී යාමට ප්‍රයෝජනයට ගන්නේ මාතෘත්වය යි. මාතෘත්වයට සමාජය ගරු කරන බව
ඇය අවබොධ කරගෙන සිටී. එසේ ම පැරණි සමාජයේ කාන්තාවක් තනිමග ගමන් ගියේ නැත. ඒ නිසාම
තමා යන්නේ තනියම නොවන බවත් බාල මස්සිනා එන බවත් පවසයි. එසේ ම යන්නම් අයියණ්ඩි
යනුවෙන් අමතා සහෝදරත්වය ඉස්මතු කොට අවදානමෙන් ගැලවුන බව දක්වයි.
මේ අනුව ජන කවිය සමාජයේ ම සිදුවීම්, සිරිත් විරිත්, සම්බන්ධතා ආදිය තේමා
කොට ගනිමින් සමාජය හා අවියෝජනීය සම්බන්ධතාවයක් සහිතව ගොඩ නැගුනක් බව පැහැදිලිය.