Tuesday, January 24, 2017

ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ



 
ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.

     i.            ජන කවියේ වෙනස්වීම් මත කාල නිර්ණයේ අපහසුව

ජන කතා වල ඇතැම් තැන් වෙනස් වූවද  ජන කවියේ එම වෙනස සිදු වූයේ ඉතා සෙමිනි. කුමන හේතුවක් නිසා හෝ ජන කවියට වදනක් එක් වූයේ නම් ඒ එක් වූයේ මුල් අදහසට සමාන වන ලෙසිනි.යම් වචනයක් අමතක වී යන විට හෝ, ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රචලිත වීමේ දී එම ජනතාවට පුරුදු වචන, ප්‍රාදේශීය වහර ආදේශ වූ අයුරු ද හඳුනාගත හැකිය. මුඛ පරම්පරාගතව පැවත එන ජන කවිය පරම්පරා ගණනාවක් යුගයෙන් යුගයට පැවත ආවද ඒ ඒ කාලයේ ව්‍යවහාරය අනුකූල වෙමින් හැඩගැසෙන බැවින් මේ කාලයට අයත් ජන කවියකි යන්න නිර්ණය කළ නොහැක.

     ii.            කර්තෘත්වය

ජන කවිය ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරිම සිදුකර ඇත්තේ සාමුහිකව ය. එසේ ප්‍රබන්ධ කළ ජන කවිය මතක තබාගෙන නැවත ගායනා කළා මිස සටහන් කර තැබුවේ නැත. මුඛ පරම්පරාගතව පැවත ආ බැවින් කතෘ කෙනෙකු නොමැති බව ප්‍රකාශ කළ ද සත්‍යය වන්නේ ජන කවියෙහි කතෘ කෙනෙකුන් සොයා ගත නොහැකි වීමයි.

    iii.            පරමාර්ථය

ජන කවියාගේ පරමාර්ථය වූයේ ගායනා කර අසා රස විඳීමට කවි තැනීමයි. එසේම එදිනෙදා කාර්යයන් වල දුෂ්කරතාව මගහරවා ගැනීමටත් කාර්යක්ෂමතාව ඇති කර ගැනීමටත් ජන කවි නිර්මාණය කරනු ලැබීය. බොහෝ විට බුද්ධියට වඩා හැඟීම් කෙරේ නැඹුරු වීම නිසා ප්‍රේමය, විරහව, සිතුම් පැතුම් ආදී බෝ දේ ජන කවියට කැටි කරනු ලැබීය. මෙම අසහස් සෘජුව ප්‍රකාශ කිරීම නිසා ව්‍යංගාර්ථවත් නොවීය. දහම් ගැටළු, අපදේශාත්මක කාව්‍ය ආදිය රචනා කිරීම හේතුවෙන් ශිෂ්ටසම්පන්න සාජයක් අපේක්ෂා කළ බවද ජන කවියේ පරමාර්ථයක් ලෙස හඳුනාගත හැකිය.

    iv.            විෂය ක්ෂේත්‍රය හා අන්තර්ගතය

ජන කවියේ විෂය පථය හා අන්තර්ගතය ප්‍රධාන වශයෙන් සුන්දර  වස්තූන් ලෙස ගැමියා කුඹුර, පැල, මල හා ලිය යන වස්තූන් සලකන ලදී. මේ සියල්ලම ගැමියාට සැපත සතුට ළඟාකර දුන් වස්තූන් ය. එනිසා ස්වභාව ධර්මය හා ජීවිතය එකට බැඳී ඇති අයුරු නිරූපණය කරන අයුරින් ජන කවි නිර්මාණය කර ඇත. එසේ වූවත් මෙම සතුට සදා දෙන වස්තූන් ම දුක ගෙන දුන් ආකාරය ද කවියා දක්වයි. මෙයින් ජීවිතයේ අනියත බව පසක් කිරීම ද ජන කවියෙන් කරනු ලබයි. මෙසේ ජීවිතය හා බැඳී ගිය ජනකවිය පසු කාලීනව සමාජය හා බැඳී ගියේය. එබැවින් මෙහි විෂය ක්ෂේත්‍රය පුළුල් විය. එබැවින් ඇදහිලි විශ්වාස, සිරිත් විරිත් හා ආකල්ප ද අන්තර්ගත විය. ජන කවියා නිතර යථාර්ථය දැකීමට ප්‍රිය කළේය. නිතර කනට ඇසෙන ඇසින් දකින දෙය කවියට නැගීය.
ඉරේ රුව බලන් ඉරගල වැටෙන                        කොට
සඳේ රුව බලන් සඳගල වැටෙන                        කොට
මලේ රුව බලන් අතු අග පිපෙන                        කොට
වැවේ රුව බලන් කොග්ගල පිරෙන                   කොට
කවියා සොරබොර වැව සුන්දර වූ අවස්ථාවක් හා සසඳයි. ඉරේ රුව ඉර බැස යන විටය. අතු අග පිපි මල ද එවැනිම සුන්දර වස්තුවකි. සොරබොර වැවේ සුන්දරත්වය නැරඹිය හැක්කේ ද කොකුන් ලගින ගල ඔවුන්ගෙන් පිරී ගිය විට ය යි පවසන්නේ ජන කවියේ විෂය ක්ෂේත්‍රය හා අන්තර්ගතය පරිසරයට බද්ධ වී ඇති බැවිනි.

     v.            ජන කවියේ භාෂාව

සාහිත්‍ය ග්‍රන්ථයක අන්තර්ගතය රචනා කරන විට  භාවිත කරන භාෂාව අනුව වියත් අවියත් වශෙයන් වර්ග කළ හැකිය. ඒෙස් ම ඒකම බස් වහර තුළ වූව ද කට වහර හා ගත් වහර, වියත් වහර හා ජන වහර, ගැමි වහර හා පුර වහර, පළාත් වහර වශෙයන් විවිධ අංශ දැකිය හැකිය.
මෙකිසිවක්  කවියා බාදාවක් කර ගත්තේ නැත.    

ජන කවියේ මෙන්ම එහි භාෂවේ ද කෘතීම බවක් දක්නට නොලැබේ.
තණඩලේ දෙන්න දෙපොලේ                දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද                     දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                          දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල්               යනවා
මෙම කවිවල වියත් වහරින් වෙනස්ව සිටින ආකාරය පැහැදිලිව ම දැකගත හැකිය. “පව්කළ ගොනෝ ඇදපන්“ ආදී යෙදුම් කට වහර අනුව යෙදී ඇති බව පැහැදිලි වේ.

ජන කවියාගේ භාෂාවේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ පුනරුක්තිය යි.
කවර කලද ගල් පිට මල් පිපෙන්                                    නේ
කවර කලද මෙර සුළඟට වැනෙන්                     නේ
කවර කලද මුහුදේ දුම් නැගෙන්                         නේ
කවර කලද අපි එකතැන සිටින්                          නේ
මෙය කාව්‍යකරණයේදී කාව්‍ය දෝශයක් ලෙස සලකනු ලැබූව ද මෙහි දී කරුණු වැඩි දුරටත් අවධාරණය කිරීමේ අරමුණින් භාවිත කර ඇත. පුනරුක්තියෙන් නැගෙන ශබ්ද ධ්වනිය අසන්නාට ග්‍රහනය කර ගැනීමට පහසු වන අතර ඉන් ප්‍රකාශිත වස්තූන් අවධාරණය වේ.
එමෙන් ම ළමුන් අතර ජනප්‍රිය,
ටිකිරි ටිකිරි ටිකිරි                      ලියා
කළෙත් අරන් ළිඳට                   ගියා
ළිඳ වටකර කබර                   ගොයා
කකුල කාපි දිය                      බරියා
යන කවියේ ටිකිරි යන පාදය තෙවරක් යෙදී ඇත. මෙයින් අදහස් වූයේ ඉතා පුංචි කාන්තාව යන අර්ථය යි.ඉන් සිංහල ජනකවි රීතියත්, ස්වාධීන සිංහල භාෂා රීතියත් ප්‍රකට වන බව මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අදහසයි.

ජන කවියේ භාෂාවේ එන උපමා රුපක වල විශේෂත්වයක් ඇත. ගැමියා හොඳින් දැක පුරුදු දෑ ඇසුරින් තනාගත් උපරා රූපක අදහස් ප්‍රකාශනයෙහි ලා උපයෝගී කරගෙන ඇත.
අහසේ තරු සේම ගොවිතැන්                  කරන්නේ
පොළවේ වැලි සේම බෝගත්                 ඉසින්නේ
මෙහි “තරු” සහ “වැලි” යන වදන් යොදාගෙන ඇත්තේ ප්‍රමාණයේ විශාලත්වය ප්‍රකාශ කිරීම පිණිසය.

අර්ථ රසයට වඩා ශබ්ද රසයට ප්‍රධාන තැන දීමත්, ජන කවියාගේ භාෂා ව්‍යවහාරයේ කැපීපෙනෙන ලක්ෂණයකි. මෙලෙස ශබ්ද රසයට මුල් තැනක් දෙනු ලැබුවේ ජන කවිය ගායනා කිරීම සඳහා නිර්මාණය වී පැවතීමයි.
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි                            අල
සසඳ සසඳ සිය මතුපිට තිබෙයි                         කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු                      මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                      මල
මෙසේ ශ්‍රැතියට මුල් තැනක් දුන්නේ ගායනය ජන කවියේ මුඛ්‍ය පරමාර්ථය වූ බැවිනි.

මේ අනුව ජන කවියේ භාෂාව දෙස බලන විට එහි භාෂාව සරලය, සුගමය. එසේම කටවහර භාවිත කොට ඇත. වක්‍රෝක්ති, අලංකාර, කාව්‍ය නීතිරීති භාවිත කොට නැත. ශබ්ද රසයට මුල්තැන දී ඇති අතර කවියේ රිද්මය ආරක්ෂා කර ගැනීම සඳහා තමාට අවශ්‍යය පරිදි භාෂාව හසුරුවා ඇත. උපමා රූපක තමා අවට පරිසරයෙන් ම යොදාගෙන ඇති අතර කවියේ එළිවැට ආරක්ෂා කිරීම සඳහා විශේෂ වෙහෙසක් නොදැක් වූවද එළිවැට නිරායාසයෙන් යෙදී ඇත. මේ අනුව ජන කවියේ විශේෂතා සමස්තයක් ලෙස බලන කල පැහැදිලි වන්නේ ජන කවිය තම ජාතියෙන් පිටස්තර වෙනත් සංස්කෘතීන් හා සංකලනය නොවී පැවති අංගයක් බවයි.  

8 comments: