Sunday, January 22, 2017

එළු සඳැස්ලකුණේ සඳහන් ගී විරිත් 3



                                         අදාළ රූපය

යොන්ගී

අටින් දෙසෙන් වසමැ                -           ඇරිනෙකොළොසින් සෙමෙහි
සමහල්නි බඳ යොන් ගී              -           නමින් පළ වේ හෙ මෙසේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා අටකින් හා දහයකින් ද සමපාදයන්හි එකොළොසකින් හා එකොළොසකින් ද යුතුව මාත්‍රා සම සතළිසකින් බඳනා ලද්දේ යොන්ගී නමින් ප්‍රකට වේ.

කාරිකා
වසම්හි අට නවෙ           -           කොළොසින් තෙරින් සෙමෙහි
ලුහු පස්විසි අටගුරින්      -           බඳ කාරිකා හෙ මෙසේ
අර්ථය :- විසමපාදයන්හි මාත්‍රා අටකින් හා නවයකින් ද සමපාදයන්හි එකොළොසකින් හා දහතුනකින් ද ලඝු විසිපහකින් හා ගුරු අටකින් ද බඳහොත් කාරිකා ගී නම් වේ.

දකුණු වම් තොහොල් ගී
දියුණු ඈ වසන්                          -           සදින් යුතු මෙම ලකුණෙන්
දකුණු වම් තොහොල් ගී             -           නිදසුන් එයට මේ වේ
අර්ථය :- දියුණු වූ හෙවත් දෙවරක් යොදනලද ආදී ශබ්දයෙන් හා අවසාන ශබ්දයෙන් ද මේ කාරිකා ලක්ෂණයෙන් ද යුක්ත වූයේ දකුණු තොහොල්ගී වම්තොහොල්ගී නම් වේ.

සඳහටගී
පෙදෙනේ පෙදෙ පිරියත            -           අකුරු ඩැහැ පද නැඟෙ නම්
බහල්මත් ඈ ලකුණු                   -           දනු සඳහට හෙ මෙසේ
අර්ථය :- පාදයෙන් පාදයෙහි අක්ෂරයන් දෂ්ට කොට නැගේ නම් දෙසාළිස් මාත්‍රා ආදී ලක්ෂණ ඇති ඒ වෘත්තය සන්දෂ්ට ය යි දත යුතුය.

සසපුලුතු ගී
දබදෙ ගෙණෙන් දෙමත්             -           කොමළ පද සමඅත් වූ
සසපුලුතු ගී නම් වේ                   -           නිදසුන් මෙසේ දන්නේ
අර්ථය :- මෙහි ලක්ෂණ කියන ලද්දේ එක් පාදයක පමණකි. එය චතුරාවෘත්ත කළවිට පද්‍යය සම්පූර්ණ වේ. මෙහි එක් එක් පාදයක් කොටස් නිත්‍යෙයන් ම - ්‍ර -්‍ර - - මෙසේ සිටී. දෙවෙනි කොටස එක් ගුරකින් හෝ ලඝු දෙකකින් යුක්ත විය හැකි බැවින් එහි භේද දෙකක් ලැබේ. එහෙයින් පාද සතරෙහි භේද සොළොසක් වේ.

උනවිලඹු
වසම්හි අට නව                          -           සෙමෙහි දු ඇර බව්නෙන්
සම එළි කොටින්  බඳ හොත්      -           උනුවිලඹු නම් හෙ මෙසේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා අට නවය බැගින් ද සමපාදයන්හි එකොළොස බැගින් ද ලා එළි සම කොට බැන්ඳොත් උනවිලඹු නම් විරිත වේ.

ගජගැමි ගී
වසමැ අට එකොළොස්              -           සම පෙදෙහි ඇර බවනෙන්
සම එළි කොටින් බැඳියේ           -           ගජගැමි නමැයි දන්නේ
අර්ථය :- විෂමපාදයන්හි මාත්‍රා අට එකොළොස බැගින් ද සමපාදයන්හි මාත්‍රා එකොළොස බැගින් ද ලා එළි සම කොට බඳනා ලද්දේ ගජගැමි විරිතයි.

නළු ගී
            සගණ දගණ ගුරු           -           ලුහුනෙන් නබ දෙගෙණෙන්
            දෙලුහු ද සගණලුහු         -           සගණෙන් යලු දු ලුහු වෙ ද
ඇරැ ස අට පසින්           -           යති හා කොමළ පද වත්
            නළු ගී නමැයි දන්නේ    -           නිදසුන් එයට මේ වේ
අර්ථය :- සගණ, දගණ, ගුරු, ලුහු යන මෙයින් පර වූ නගණ බගණ දෙකින් පර ව ලඝු දෙකක් වේ ද, සගණයක් හා ලඝුවක් වේ ද සගණයක් හා ලඝුවක් වේ ද මාත්‍රා එකොළොසකින් හා සයකින් ද අටකින් හා පසකින් ද යතිත් වේ ද කොමල පද ඇති ඒ වෘත්තය නළු ගී නම් වේ.

එළු සඳැස්ලකුණේ ගී විරිත් නිමි.

No comments:

Post a Comment