Wednesday, January 25, 2017

ජන කවිය හා සමාජය


    

ලොව නානාවිධ සමාජ ඇත. ඒ සෑම එකකට ම ආවේණික පොදු කරුණු රැසක් ඇත. පොදු සිතුම් පැතුම්, අරමුණු චාරිත්‍ර වාරිත්‍ර හා අපේක්ෂා ආදිය ඉන් සමහරකි.
කිසියම් සමාජයක බාල පරපුර තම මුතුන් මිත්තන් ගේ ජීවන ක්‍රම වලට අනුකූලව ජීවත්වීම සඳහා ඇති දැඩි වේ නම් එවන් සමාජයක් ජාතියකි. එවන් ජාතීන් සමූහයක් එක් වූ කල මහා සමාජයකි. පෙරදිග හා අපරදිග සමාජ එවැන්නකි.
මේ හැර ලොව සියලු ම ජනයා එක් වූ කල එය මානව සමාජය ලෙස නම් කළ හැකි ය. ගෝලීයකරණයට නතු වූ වත්මන් සමාජයක තාක්ෂණය විසින් ලෝකය විශ්ව ගම්මානයක් බවටත්, ගම්මානය පවුලක් බවටත් පත් කර ඇත. එම පවුල තුළ ඇති ජන සමාජ බොහෝ විට සංස්කෘතික ලක්ෂණ හේතු කොට ගෙන දියුණු නොදියුණු, ශිෂ්ට අශිෂ්ට, නාගරික ගැමි යනාදී වශයෙන් හැඳින්වීමට පෙළඹී ඇත.
සමාජය තුළ විවිධ සමූහයන් පවතී. විශේෂයෙන් පවුල, ආගමික සමූහ, ආර්ථික සමූහ ආදි වේ. මෙම සමූහ වැදගත් වන්නේ එම සමූහයන් නිරතවන විවිධ ක්‍රියාකාරකම් අනුවය. ඇතමෙක් කෘෂිකාර්මික කටයුතු වල නිරත වේ. තව කොටසක් විවිධ ගෘහ කර්මාන්ත හා සේවාවන්හි නිරත වේ. මොවුන් ක්‍රියා කරන්නේ ඔවුන්ගේ සිතුවිලි අනුවය. නමුත් මෙම ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රධාන බලවේගය වන්නේත් සිතුවිලි වේ. මෙසේ සිතුවිලි මගින් ක්‍රියාකාරකම් පාලනය කරනු ලබන්නේ එමගින් අන් අයට යම් අවස්තා වලදී හානියක් විය හැකි බැවිනි. එබැවින් යම් කාර්යයකට සූදානම් වීමට පෙර ඒ පිළිබඳ සොයා බැලිය යුතු යැයි ජන කවියා පවසන්නේ මෙසේය.
බොරැල්ලේ තරම දැනගෙන උඩ                        පනිනු
ගොඩැල්ලේ තරම දැනගෙන ළිඳ                        කපනු
කඩුල්ලේ තරම දැනගෙන කද                             බඳිනු
තමන්ගේ තරම දැනගෙන දව                               සරිනු
එසේම සමාජයේ මෙම සීමාවන් ඉක්මවා අන් අයට කරදරකාරී ලෙස කටයුතු කරන පුද්ගලයන් පිළිබඳව ද ජන කවියා මෙසේ දක්වයි.
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ                පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර                කැටියා
යන එන ඔරු පාරු නවතාගෙන                සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගෙ                පැටියා
එවකට මාතරට යන එන අයගේ ගමන් මාර්ගය වූයේ නිල්වලා ගඟයි. එම ගඟේ එහා මෙහා යන යාත්‍රා වලින් අතර මග ඇති කඩවත් වලදී බදු අය කරනු ලැබීය. මෙම එක් කඩවතක සිට බදු අයකළ අයෙකුගේ රළු පරළු වදන් හා හැසිරීම ප්‍රකාශ කිරීමට උත්සාහ ගෙන ඇත. මේ නිලධාරියාගේ තල්ලේ කබරත්, බෙල්ලේ අලුහනුත් තිබී ඇත. ඔහුට කප්පම් ලැබෙන තුරු ඔරු පාරු වලට යන්නට ලැබී නැත. එනිසා ඔහුගෙන් ඇතිවන හිරිහැරය පිළිබඳ ජනකවියා දක්වා ඇත්තේ නිර්ධනයින් සූරා කෑම පදනම් කරගත් සමාජය දෙස ක්‍රෝධයෙන් නොව අනුකම්පාවෙනි. ක්‍රෝධය කෙලින්ම ප්‍රකාශ කළ හොත් ඇති වන තත්වය පිළිබඳ මනා අවබෝධයක් ජන කවියාට වූ බව මින් පැහැදිලි වේ. මෙසේ පුද්ගල අන්තර් ක්‍රියා සමාජයේ ගැටුම් බවට පත් නොවන අයුරින් පාලනය කර ගැනීමට ගැමියා සමත් විය. මින් පැහැදිලි වන්නේ සිතුවිලි හා චර්යා සමාජයට හානිකර නොවන පරිදි පිවිසවීමට ජන කවියා, කවිය යොදාගත් බවයි.   
සමාජ සංස්ථාවේ කුඩාම ඒකකය වන්නේ පවුලයි. මෙම පවුලේ උපදින දරුවා පවුලේ ඥාතීන් හා සමීප කරවීම මවගේ කාර්යයක් වෙයි.එ නිසා කුඩා කල සිටම ළමයින්ගේ මනසට පවුලේ නෑදෑයන් පිළිබඳ හැඟීම් ඇතුළත් කරනලදී.
පුතේ නුඹේ ලොකු           අම්මා
අතේ වළල්ලක්               දැම්මා
හිතේ අදර නැති               නිම්මා
නාඩා නිදියන්                පෙම්මා
එසේම දරුවකු උස්මහත් වූ පසු සමාජයේ යහපත්ව ජීවත් විය යුතු ආකාරය පිළිබඳ උපදේශාත්මක ජනකවි වලින් පවසනු ලැබීය.
හොද්දට ලුණු ඇඹුල් දමන පදම ඉගෙන ගනින්               දුවේ
මැද්දට පැන වැඩිහිටියන් සමග කතා එපා                        දුවේ

කොල්ලන් ගසට ඇර ගස මුල ඉන්න                  එපා
සෙල්ලම් ගමන් රෑ තනිමග යන්න                       එපා

ලාංකීය සමායේ සහයෝගීතාව තහවුරු කරන තවත් සාධකයක් වන්නේ ආර්ථික සහයෝගීතාවයි. මෙම සහයෝගීතාවය පිළිබඳ මේවර කෙළිය වැනි ජන ක්‍රීඩා තුළින් පිළිබිඹු කරනු ලැබීය. මෙම ආර්ථික සහයෝගීතාව විශද කරනු ලැබු තවත් කරුණක් වූයේ ලිංගිකත්වය හා වයස මත පදනම්ව එක්තරා ආකාරයක ශ්‍රම විභජනයක් පැවති බවයි.

සමාජයක පැවැත්ම උදෙසා ලිංගික ප්‍රජනන කාර්යය වැදගත් වේ.පවුල නමැති සම්මතය තුළ විවාහය ලෙස සලකන ලද්දේ ඇවැස්ස නෑකම මත සිදු වූ විවාහය යි. ඒ සඳහා යම් නීත්‍යනුකූල බවක් සමාජ පිළිගැනිම තුළින් ස්ථාපිතව තිබුණි. මේ නිසා නෑනාගේ අයිතිය මස්සිනාට පැවරෙන බව ප්‍රබල ලෙස ජන කවියා දක්වා ඇත. මෙම සමාජ අනුමැතියෙන් දෙදෙනාගේ ලිංගික ප්‍රජනන කාර්යය සඳහා නිදහස ලැබුණි. සමාජය හා ජන කවිය බැඳී ඇති ආකාරය මේ අනුව තව දුරටත් තහවුරු වේ.

වැසි සිය අයිති ගං හෝ ඇළ                    සමුදුරටයි
මල් පැණි අයිති වට ගුමු දෙන                 බමරාටයි
මීරා අයිති කිතුලේ කළ                          වැද්දාටයි
නෑනා අයිති කාට ද                            මස්සිනාටයි

ගැමි කාන්තාවක් තනියම හුදකලා මාවතක යනු දුටු සල්ලාලයෙක් ඇයට මෙවන් යෝජනාවක් කරයි.
අල්ලාගෙන නෙරිය අතකින් කිමද          නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද             නගෝ
හිමියෙක් නැතිව නුඹ තනියම කිමද         නගෝ
අම්බලමේ නැවතී අපි යමුද                     නගෝ
එවිට කාන්තාව එතැනින් ගැලවී යන අදහසින් මෙසේ පිළිතුරු දුන්නාය.
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන         හන්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි               හන්දා
බාල මස්සිනා පස්සෙන් එන                   හන්දා
යන්නම් අයියන්ඩි ගම රට දුර                 හන්දා
තමා අනාරක්ෂිත අවස්ථාවකට මුහුණ පා සිටින බව තේරුම් ගන්නා තරුණිය ඒ අවස්ථාවෙන් ගැලවී යාමට ප්‍රයෝජනයට ගන්නේ මාතෘත්වය යි. මාතෘත්වයට සමාජය ගරු කරන බව ඇය අවබොධ කරගෙන සිටී. එසේ ම පැරණි සමාජයේ කාන්තාවක් තනිමග ගමන් ගියේ නැත. ඒ නිසාම තමා යන්නේ තනියම නොවන බවත් බාල මස්සිනා එන බවත් පවසයි. එසේ ම යන්නම් අයියණ්ඩි යනුවෙන් අමතා සහෝදරත්වය ඉස්මතු කොට අවදානමෙන් ගැලවුන බව දක්වයි.

මේ අනුව ජන කවිය සමාජයේ ම සිදුවීම්, සිරිත් විරිත්, සම්බන්ධතා ආදිය තේමා කොට ගනිමින් සමාජය හා අවියෝජනීය සම්බන්ධතාවයක් සහිතව ගොඩ නැගුනක් බව පැහැදිලිය.

Tuesday, January 24, 2017

ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ



 
ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.

     i.            ජන කවියේ වෙනස්වීම් මත කාල නිර්ණයේ අපහසුව

ජන කතා වල ඇතැම් තැන් වෙනස් වූවද  ජන කවියේ එම වෙනස සිදු වූයේ ඉතා සෙමිනි. කුමන හේතුවක් නිසා හෝ ජන කවියට වදනක් එක් වූයේ නම් ඒ එක් වූයේ මුල් අදහසට සමාන වන ලෙසිනි.යම් වචනයක් අමතක වී යන විට හෝ, ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රචලිත වීමේ දී එම ජනතාවට පුරුදු වචන, ප්‍රාදේශීය වහර ආදේශ වූ අයුරු ද හඳුනාගත හැකිය. මුඛ පරම්පරාගතව පැවත එන ජන කවිය පරම්පරා ගණනාවක් යුගයෙන් යුගයට පැවත ආවද ඒ ඒ කාලයේ ව්‍යවහාරය අනුකූල වෙමින් හැඩගැසෙන බැවින් මේ කාලයට අයත් ජන කවියකි යන්න නිර්ණය කළ නොහැක.

     ii.            කර්තෘත්වය

ජන කවිය ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරිම සිදුකර ඇත්තේ සාමුහිකව ය. එසේ ප්‍රබන්ධ කළ ජන කවිය මතක තබාගෙන නැවත ගායනා කළා මිස සටහන් කර තැබුවේ නැත. මුඛ පරම්පරාගතව පැවත ආ බැවින් කතෘ කෙනෙකු නොමැති බව ප්‍රකාශ කළ ද සත්‍යය වන්නේ ජන කවියෙහි කතෘ කෙනෙකුන් සොයා ගත නොහැකි වීමයි.

    iii.            පරමාර්ථය

ජන කවියාගේ පරමාර්ථය වූයේ ගායනා කර අසා රස විඳීමට කවි තැනීමයි. එසේම එදිනෙදා කාර්යයන් වල දුෂ්කරතාව මගහරවා ගැනීමටත් කාර්යක්ෂමතාව ඇති කර ගැනීමටත් ජන කවි නිර්මාණය කරනු ලැබීය. බොහෝ විට බුද්ධියට වඩා හැඟීම් කෙරේ නැඹුරු වීම නිසා ප්‍රේමය, විරහව, සිතුම් පැතුම් ආදී බෝ දේ ජන කවියට කැටි කරනු ලැබීය. මෙම අසහස් සෘජුව ප්‍රකාශ කිරීම නිසා ව්‍යංගාර්ථවත් නොවීය. දහම් ගැටළු, අපදේශාත්මක කාව්‍ය ආදිය රචනා කිරීම හේතුවෙන් ශිෂ්ටසම්පන්න සාජයක් අපේක්ෂා කළ බවද ජන කවියේ පරමාර්ථයක් ලෙස හඳුනාගත හැකිය.

    iv.            විෂය ක්ෂේත්‍රය හා අන්තර්ගතය

ජන කවියේ විෂය පථය හා අන්තර්ගතය ප්‍රධාන වශයෙන් සුන්දර  වස්තූන් ලෙස ගැමියා කුඹුර, පැල, මල හා ලිය යන වස්තූන් සලකන ලදී. මේ සියල්ලම ගැමියාට සැපත සතුට ළඟාකර දුන් වස්තූන් ය. එනිසා ස්වභාව ධර්මය හා ජීවිතය එකට බැඳී ඇති අයුරු නිරූපණය කරන අයුරින් ජන කවි නිර්මාණය කර ඇත. එසේ වූවත් මෙම සතුට සදා දෙන වස්තූන් ම දුක ගෙන දුන් ආකාරය ද කවියා දක්වයි. මෙයින් ජීවිතයේ අනියත බව පසක් කිරීම ද ජන කවියෙන් කරනු ලබයි. මෙසේ ජීවිතය හා බැඳී ගිය ජනකවිය පසු කාලීනව සමාජය හා බැඳී ගියේය. එබැවින් මෙහි විෂය ක්ෂේත්‍රය පුළුල් විය. එබැවින් ඇදහිලි විශ්වාස, සිරිත් විරිත් හා ආකල්ප ද අන්තර්ගත විය. ජන කවියා නිතර යථාර්ථය දැකීමට ප්‍රිය කළේය. නිතර කනට ඇසෙන ඇසින් දකින දෙය කවියට නැගීය.
ඉරේ රුව බලන් ඉරගල වැටෙන                        කොට
සඳේ රුව බලන් සඳගල වැටෙන                        කොට
මලේ රුව බලන් අතු අග පිපෙන                        කොට
වැවේ රුව බලන් කොග්ගල පිරෙන                   කොට
කවියා සොරබොර වැව සුන්දර වූ අවස්ථාවක් හා සසඳයි. ඉරේ රුව ඉර බැස යන විටය. අතු අග පිපි මල ද එවැනිම සුන්දර වස්තුවකි. සොරබොර වැවේ සුන්දරත්වය නැරඹිය හැක්කේ ද කොකුන් ලගින ගල ඔවුන්ගෙන් පිරී ගිය විට ය යි පවසන්නේ ජන කවියේ විෂය ක්ෂේත්‍රය හා අන්තර්ගතය පරිසරයට බද්ධ වී ඇති බැවිනි.

     v.            ජන කවියේ භාෂාව

සාහිත්‍ය ග්‍රන්ථයක අන්තර්ගතය රචනා කරන විට  භාවිත කරන භාෂාව අනුව වියත් අවියත් වශෙයන් වර්ග කළ හැකිය. ඒෙස් ම ඒකම බස් වහර තුළ වූව ද කට වහර හා ගත් වහර, වියත් වහර හා ජන වහර, ගැමි වහර හා පුර වහර, පළාත් වහර වශෙයන් විවිධ අංශ දැකිය හැකිය.
මෙකිසිවක්  කවියා බාදාවක් කර ගත්තේ නැත.    

ජන කවියේ මෙන්ම එහි භාෂවේ ද කෘතීම බවක් දක්නට නොලැබේ.
තණඩලේ දෙන්න දෙපොලේ                දක්කනවා
කටුකැලේ ගාල නොලිහා වද                     දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                          දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල්               යනවා
මෙම කවිවල වියත් වහරින් වෙනස්ව සිටින ආකාරය පැහැදිලිව ම දැකගත හැකිය. “පව්කළ ගොනෝ ඇදපන්“ ආදී යෙදුම් කට වහර අනුව යෙදී ඇති බව පැහැදිලි වේ.

ජන කවියාගේ භාෂාවේ කැපී පෙනෙන තවත් ලක්ෂණයක් වන්නේ පුනරුක්තිය යි.
කවර කලද ගල් පිට මල් පිපෙන්                                    නේ
කවර කලද මෙර සුළඟට වැනෙන්                     නේ
කවර කලද මුහුදේ දුම් නැගෙන්                         නේ
කවර කලද අපි එකතැන සිටින්                          නේ
මෙය කාව්‍යකරණයේදී කාව්‍ය දෝශයක් ලෙස සලකනු ලැබූව ද මෙහි දී කරුණු වැඩි දුරටත් අවධාරණය කිරීමේ අරමුණින් භාවිත කර ඇත. පුනරුක්තියෙන් නැගෙන ශබ්ද ධ්වනිය අසන්නාට ග්‍රහනය කර ගැනීමට පහසු වන අතර ඉන් ප්‍රකාශිත වස්තූන් අවධාරණය වේ.
එමෙන් ම ළමුන් අතර ජනප්‍රිය,
ටිකිරි ටිකිරි ටිකිරි                      ලියා
කළෙත් අරන් ළිඳට                   ගියා
ළිඳ වටකර කබර                   ගොයා
කකුල කාපි දිය                      බරියා
යන කවියේ ටිකිරි යන පාදය තෙවරක් යෙදී ඇත. මෙයින් අදහස් වූයේ ඉතා පුංචි කාන්තාව යන අර්ථය යි.ඉන් සිංහල ජනකවි රීතියත්, ස්වාධීන සිංහල භාෂා රීතියත් ප්‍රකට වන බව මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ අදහසයි.

ජන කවියේ භාෂාවේ එන උපමා රුපක වල විශේෂත්වයක් ඇත. ගැමියා හොඳින් දැක පුරුදු දෑ ඇසුරින් තනාගත් උපරා රූපක අදහස් ප්‍රකාශනයෙහි ලා උපයෝගී කරගෙන ඇත.
අහසේ තරු සේම ගොවිතැන්                  කරන්නේ
පොළවේ වැලි සේම බෝගත්                 ඉසින්නේ
මෙහි “තරු” සහ “වැලි” යන වදන් යොදාගෙන ඇත්තේ ප්‍රමාණයේ විශාලත්වය ප්‍රකාශ කිරීම පිණිසය.

අර්ථ රසයට වඩා ශබ්ද රසයට ප්‍රධාන තැන දීමත්, ජන කවියාගේ භාෂා ව්‍යවහාරයේ කැපීපෙනෙන ලක්ෂණයකි. මෙලෙස ශබ්ද රසයට මුල් තැනක් දෙනු ලැබුවේ ජන කවිය ගායනා කිරීම සඳහා නිර්මාණය වී පැවතීමයි.
සසඳ සසඳ දිය පල්ලේ තිබෙයි                            අල
සසඳ සසඳ සිය මතුපිට තිබෙයි                         කොළ
වැස්සට පිනි බබා මෝරන කැකුළු                      මල
මස්ටකයින්ට මුතු කුඩයකි නෙළුම්                      මල
මෙසේ ශ්‍රැතියට මුල් තැනක් දුන්නේ ගායනය ජන කවියේ මුඛ්‍ය පරමාර්ථය වූ බැවිනි.

මේ අනුව ජන කවියේ භාෂාව දෙස බලන විට එහි භාෂාව සරලය, සුගමය. එසේම කටවහර භාවිත කොට ඇත. වක්‍රෝක්ති, අලංකාර, කාව්‍ය නීතිරීති භාවිත කොට නැත. ශබ්ද රසයට මුල්තැන දී ඇති අතර කවියේ රිද්මය ආරක්ෂා කර ගැනීම සඳහා තමාට අවශ්‍යය පරිදි භාෂාව හසුරුවා ඇත. උපමා රූපක තමා අවට පරිසරයෙන් ම යොදාගෙන ඇති අතර කවියේ එළිවැට ආරක්ෂා කිරීම සඳහා විශේෂ වෙහෙසක් නොදැක් වූවද එළිවැට නිරායාසයෙන් යෙදී ඇත. මේ අනුව ජන කවියේ විශේෂතා සමස්තයක් ලෙස බලන කල පැහැදිලි වන්නේ ජන කවිය තම ජාතියෙන් පිටස්තර වෙනත් සංස්කෘතීන් හා සංකලනය නොවී පැවති අංගයක් බවයි.