Wednesday, January 18, 2017

වැවක අංග හා තාක්ෂණය

 

වැව් බැම්ම (වැව් කන්ද)
 වැව් බැම්මක් යනු දැවැන්ත නිර්මාණයකි. වැවකින් සිදුවන කාර්යය වන්නේ විශාල ජල ධාරිතාවක් රදවා ගැනීමයි. ජලය රැස් කර ගැනීම සඳහා දිය පාර හරස් කර බඳින බැම්ම  වැව් බැම්මයි. ස්වභාවික කුඩා කඳුගැටවලට සම්බන්ධ කර වැව් බැම්ම තනා ඇත. වැවේ ප‍්‍රමාණය මත වැව් බැම්මේ දිග, පළල, උස හා තාක්‍ෂණය තීරණය වේ. වැව් බැම්මේ පතුල පළල්ය. මුදුන ඊට වඩා පටුය. රැස්වන ජලයේ පීඩනයට ඔරොත්තු දෙන ලෙස අර්ධ කවාකාර හැඩයට ඉදි කරයි. මෙරට සියලූ වැව්වල බැම්ම සාදා ඇත්තේ පස්වලිනි. මහා වැව් තැනීමේ දී ඔයක් ගලා එන නිම්නය හරස් කර බැම්ම බඳින විට එහි දිග අඩු කර ගැනීම සඳහා දෙපස පිහිටි උස් බිම් හා ස්වාභාවික කඳු උපයෝගී කරගනී. එසේම හුණුගල් හෝ ක්වාටසයිට් පාෂාණ ස්ථර පවතින ප්‍රදේශ වල වැව ඉදිකිරීම සඳහා තොරා ගන්නා බැවින් වැව් බැම්මට ජලය කාන්දුවීම වැලකේ.
උදා :- යෝධ වැවේ බැම්ම සැතපුම් හතක් දිගය. පරාක්‍රම සමුද්‍රයේ බැම්මේ දිග සැතපුම් නවයකි.
 
බිසෝ කොටුව 
 විශාල වැව්වල අධික පීඩනයෙන් යුතු ජල කඳක් සාමාන්‍ය සොරොව්වකින් පිටතට ගන්නා විට වැව් බැම්මට හානි සිදු විය හැකි නිසා මහා පරිමාණ වැව් ආශි‍්‍රතව බිසෝ කොටු නිර්මාණය කරනු ලැබීය. ආගමනයහෝ ගලා ඒමයන අරුතින් බිසෝයන්නත්, “ගබඩා කාමරයහෝ ජලාශයයන අරුතින් කොටුවයන්නත් ගෙන බිසෝ කොටුවයන පදය නිර්මාණය වී ඇත. සොරොව්වක තිබෙන ප‍්‍රධාන තාක්ෂණක අංගය බිසෝ කොටුවයි. ගලා එන ජලය ගබඩා කර යළි පිට කරන්නේ බිසෝ කොටුවෙනි.වැවේ බැම්මේ සිට වැව ඇතුළට වන්නට මීටර්බකීපයක් දුරින් චතුරස‍්‍රාකාර හෝ ආයත චතුරස‍්‍රාකාර ළිඳක් කළු ගලෙන් හෝ ගඩොලින් බැඳ ඇත. ඇළ මාර්ග වලට මුදා හරින ජලය මුලින් ම පිවිසෙන්නේ බිසෝකොටුව තුලටයි. බිසෝ කොටුවෙන් උමගක් වූ බැම්ම යටින් ජලය පිට කරන බැවින් ඇතිවන තෙරපීම අවම කිරීම මින් සිදුවිය.
 
සොරොව්ව
වැවේ රැඳවූ ජලය මනා පාලනයකින් යුතුව ගොවි බිම් වලට අවශ්‍ය ජලය ඇළවලට මුදා හැරීමට භාවිත කළ දියුණු තාක්ෂණික අංගය වන්නේ සොරොව්වයි. විශාල වැව්වල සොරොව් වර්ග 2කි. එය ගොඩ සොරොව්ව හා (දිය සොරොව්ව) මඩ සොරොව්වයි. ගොඩ සොරොව්ව වැවේ ජලය පිට කිරීම සඳහා වැව් පතුලට තරමක් ඉහළ මට්ටමින් පිහිටා තිබේ. මෙමගින් වැඩිපුර තෙත් බිම් ප‍්‍රමාණයකට ජලය සපයයි .මඩ සොරොව්ව ගොඩ සොරොව්වට යටින් (වැව් පතුල මට්ටමේ) නිමවා ඇත. මෙමගින් වැවේ ජලය අඩු වූ කාලයට වැවට එකතු වන රොන් මඩ පිට කිරීම සඳහා යොදා ගනී. 1980 දශකයේ දී මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කළ මාදුරු ඔය ජලාශය නිර්මාණය කිරීමේ දී පැරණි මාදුරු ඔයේ පුරාණ සොරොව්ව මතු වීම පැරැන්න්ගේ සූක්‍ෂම මැනුම් තාක්‍ෂණය වාරි කර්මාන්තයේ නිපුනත්වය හෙළිකරයි.

ඇතුළු වාන
වැවකට බාහිරින් ජලය සැපයෙන විට එම ඇළ වැවට විවෘත කරන්නේ ඇතුළු වාන මගිනි. එහි දී ගලා එන රොන් මඩ වැවට යා නොදී මෙම බැම්ම මගින් සෑදෙන කුඩා ජලාශයක තැන්පත් වේ. බාහිර ජල සැපයුම නවතා දැමූ විට මෙම වානට පිටින් ගොඩ ගැසෙන රොන් මඩ ඉවත් කළ හැක. එනිසා එයපෙරහනයලෙසත් හැඳුන්වයි.

පිටවාන
වැවේ අතිරික්ත ජලය වහා ඉවත් කළ හැකි ලෙස ඉතා ශක්තිමත්ව ඉදි කරන පළල් බැම්මකි. වැවේ බැම්මේ ආරක්‍ෂාව මෙහි ප‍්‍රධාන කාර්යයි. මෙය බොහෝ විට වැව් බැම්මේ එක් කෙළවරක හෝ දෙකෙළවරෙහිම පිට වාන ඉදි කරයි. පැරණි පඬා වැව් ආශි‍්‍රතව පැරණි පිටවානේ කොටස් හඳුනාගත හැකිය. මේසඳහා ස්වාභාවික ගල්තලාවක් තෝරාගෙන තිබීම විශේෂත්වයකි.  පිටවානෙන් පිට කරන ජලය කෙත් බිම්වලට හානි නොකර ඇළ මාර්ග ඔස්සේ ස්වාභාවික දිය බස්නාවකට හෝ වෙනත් වැවකට ඇතුළු කරයි.

කළිඟු බැමි
 වැවක පිටවානට පෙර, වැව ඇතුළතින්, වැව් බැම්මට ලම්භකව වැව හරහා යොදා ඇති උස නැති බැම්මකි. බැම්මේ මුදුන වාන් මට්ටමට වඩා පහත්ය. වැව වාන් මට්ටමට එන විට කළිඟු බැම්ම ජලයෙන් වැසී යයි. පිටවාන දුර්වලවී හදිසියේ කඩා ගෙන ගියත් වැවේ වතුර සම්පූර්ණයෙන්ම බැස යාම වැළැක්වීම කළිඟු බැම්ම මගින් සිදුවේ.

වැව් පිටිය
 වාන් මට්ටමට ජලය පිරුණු විට වැවේ වතුර පැතිරී ඇති ප‍්‍රදේශය වැව් පිටියයි.මෙය වැවක ගිල්ම”, “දිය ගිල්මලෙස ද හඳුන්වයි. ජලයෙන් මතු වන වැව් පිටියේම ප‍්‍රදේශයවැව් තාවුල්ලයි.

වැව් තාවුල්ල
 වැවේ උපරිම ජල මට්ටම ලකුණු කරන බිම් රේඛාවට සමීපව වූ ද, වැව දකින මානයේ වැව වටා ඇති ප‍්‍රදේශය තාවුල්ලයි. මෙම ප‍්‍රදේශයේ ශාක, තණ වර්ග හා බිම් පැළෑටි වැවී ඇත. වැව් ජල තලය හා ඉහත්තාව අතර භූමි ප‍්‍රදේශයකි.

ඉහත්තාව
 වැවේ පෝෂක ප‍්‍රදේශය ඉහත්තවට අයත්ය. ඉහත්තාවේ පවතින වනයෙන් ජලධාරා පෝෂණය වී වැවට ජලය අඛණ්ඩල ලැබීමට රුකුල්දේ. පැරණි ගම්වැසියන් ඉහත්තාව පණ මෙන් රැකගත්හ.

ඉස්වැටි
වැවෙ ඉහත්තාවේ, වැව පැත්තට වූ දළ බැවුම් සහිත කඳු හා උස් බිම් පාමුල දිගේ පස්වලින් සාදන අඩි 2ක් හෝ 3ක් පමණ උස කුඩා දිගු බැමියි. උස් බිම් පාමුල තෙතමනය රැඳෙන නිසා කුඩා පඳුරු හා තණ කොළ වර්ධනය වේ. වර්ෂා කාලවල දී ගලා එන ජලයේ ඇති පස්, රොන් මඩ ඇතුළු අපද්‍රව්‍ය වැවට ගලා ඒම පාලනය කෙරෙන්නේ මෙම ඉස්වැටි තුළිනි.

බිසෝ වැව්
වැව් ඉහත්තාවේ විෂමතාව භාවිත කරමින් මෙම වැව් නිර්මාණය කරයි. මේවායේ එක්රැස් කරන ජල ඝනත්වය විශාල නිසා පහළ මවු වැවට අවශ්‍ය වූ විට වරින් වර ජලය මුදා හරී.  බිස්සක බඳු ගබඩා කාරියක් සිදු කෙරෙනනිසා මෙම වැව් බිසෝ වැව් ලෙස හදූන්වයි.
 
රැළපනාව
වැව් බැම්මේ වැව ඇතුළට ඇති බෑවුමේ කළුගල් කුට්ටි අතුරා රැළපනාව සකසයි. හමන සුළඟ නිසා වැවක ජල තලය මතුපිට නිරන්තරයෙන්ම රැලි නැගේ. මේ රැලි නොකඩවා වැව් බැම්මේ වදී. මේ නිසා වැව් බැම්ම සේදී යෑම වැළැක්වීම රැළපනාව ඉදිකෙරේ.

දියකැට පහණ
වැවක ජල ධාරිතාවය ගණනය කරන්නේ දියකැට පහණෙනි. සෑම වැවකම දරකිය හැකි අනිවාර්ය අංගයක් ලෙස මෙය හැඳින්විය හැකිය. අදාල කන්නයේ දී මුදාහල යුතු ජල ප්‍රමාණය කොපමණ ද යන්න තීරණය මෙයිනි. දියකැට පහණ පිළිබඳ සඳහනක් වෙස්සගිරිය සෙල් ලිපියේ සඳහන් වේ. මධ්‍ය හා විශාල වැව් වල මෙය දක්නට ලැබේ. දැව හෝ ලෝහ පටියක් භාවිත කරමින් සලකුණු කර ඇති අතර සොරොව්වේ ද දක්නට ලැබේ.
ඇළ මාර්ග
 සොරොව්වෙන් පිට කෙරෙන ජලය තෙත් බිම් (කුඹුරු) කරා ගෙ යනු ලබන්නේ ඇළ මාර්ග ඔස්සේය. කලාවැවෙන් ඇරඹෙන සැතපුම් 54 ක් දිග ජය ගඟ නමින් හැඳින්වෙන ඇළ මාර්ගය ඔස්සේ තිසා වැවට ජලය සැපයීම නිදසුන්සේ දැක්විය හැකි.  සොරොව්වෙන් ඇරෙඔන ප‍්‍රධාන ඇළ මව් ඇළිනි. තෙත් බිම් කර ජලය රැගෙන යන්නේ බෙඳුම් ඇළ හා තෙත් ඇල දිගේය.

17 comments:

  1. හොදයි.. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    ReplyDelete
  2. අපිට මේවා ගොඩාක් වැදගත් උනා...thank you

    ReplyDelete
  3. අපිට මේවා ගොඩාක් වැදගත් උනා...thank you

    ReplyDelete
  4. මට ගොඩක් ප්‍රයෝජනවත් උනා... Thanks

    ReplyDelete
  5. 👍👍👍👍👍👍👍👍👍👍👍👍

    ReplyDelete
  6. ගොඩාක්ම වැදගත් කරුණු ලබාගන්න පුළුවන් වුණා.ඇත්තටම තවත් මෙවැනි ප්‍රයෝජනවත් ලිපි ලියන්න ශක්තිය ඔබට ලැබේ වා!

    ReplyDelete
  7. මට ගොඩක් ප්‍රයෝජනවත් උනා
    ස්තුතියි
    It was very helpful to me
    Thanks

    ReplyDelete
  8. Thanks apita mewa hugak wadagath una

    ReplyDelete
  9. ගොඩක් ප්‍රයෝජනවත්.Thanx❤️

    ReplyDelete